තෙල් සංස්ථාවෙන් ලක්දනව් බලාගාරයට යැවූ දැවි තෙල් බවුසර් 5 ක් අතුරුදන්

2 Min Read

ඛනිජ තෙල් සංස්ථාවේ සිට ලක්දනව් විදුලි බලාගාරය වෙත යැවූ දැවි තෙල් අඩංගු බවුසර් දහයකින් පහක් අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් අරඹා තිබේ.

දැවි තෙල් වෙළෙඳාමේ නිරත බවුසර් හිමියකු විසින් සිය බවුසර් යොදාගෙන විදුලි බලාගාරය වෙත මෙම දැවි තෙල් තොගය රැගෙන යද්දී දැවි තෙල් ලීටර් 19800ක් බැගින් වූ බවුසර් පහක් මෙසේ අතුරුදන් වී ඇතැයි හෙළිවී තිබේ.

දැවි තෙල් බෙදා හැරීමේදී මීට පෙරත් මෙවැනි සිද්ධියක් වාර්තා වී ඇතත් දේශපාලන හිතවත්කම් මත ඒවා යට ගසා ඇතැයි පැවසෙන අතර, මෙවර සිද්ධිය යටපත් කිරීමට විවිධ පාර්ශ්ව උත්සාහගෙන ඇතත් අසාධාරණයට එරෙහි තෙල් සංස්ථා නිලධාරීන්ගේ බලපෑම් මත එය යටපත් කරගැනීමට නොහැකි වූ බව තෙල් සංස්ථාවේ නිලධාරියෙක් පැවසීය.

මෙලෙස අතුරුදන් වී ඇති දැවි තෙල් තොගය කුමන ආයතනයකට විකුණුවාදැයි සෙවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා තෙල් සංස්ථාව වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර ඇත.

මෙම සිදුවීමට වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව මෙතෙක් කිසිදු පියවරක් නොගැනීම සම්බන්ධව විමසීමට අප ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රකාශක ලෙස පත්කර ඇති අලෙවි කළමනාකරු චමින්ද සමරකෝන් සම්බන්ධ කරගැනීමට අවස්ථා කීපයකදී උත්සාහ කළද ඔහු දුරකථනයට ප්‍රතිකාර නොදැක්වීය.

මේ අතර අතුරුදන් වූ බවුසර පහේ තිබූ දැවි තෙල් ලීටරයක මිල රුපියල් 182.29ක් ලෙස සපුගස්කන්ද පිරිපහදුවේ ලේඛනවල සඳහන්ව ඇත.

The post තෙල් සංස්ථාවෙන් ලක්දනව් බලාගාරයට යැවූ දැවි තෙල් බවුසර් 5 ක් අතුරුදන් appeared first on Newsi – Fastest news provider in Sri Lanka | Newsi.lk.

Share this Article
Leave a comment