අමෙරිකාවේ කෘෂිකර්ම උප ලේකම්වරිය සහ ජනපති අතර හමුවක්

1 Min Read

මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රය සඳහා තරුණ පරපුර ආකර්ෂණය කරගැනීම රජයේ කෘෂි නවීකරණ වැඩසටහනේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පවසයි.

අමෙරිකා එක්සත් ජනපද විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම්වරිය ඊයේ (26) හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර සිටියේය.‍

අමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර්  සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර  ජනාධිපති කාර්යාලයේදී හමුවක් ඊයේ පස්වරුවේ දී සිදු වුණි.

මෙහිදී අමෙරිකා එක්සත් ජනපදයේ සහාය ඇතිව මෙරට කිරි නිෂ්පාදනය නවීකරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කෙරුණි.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සඳහන් කර සිටියේ එම වැඩසටහන මඟින් දිවයින පුරා දැනට ක්‍රියාත්මක කිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘති තවදුරටත් දිරිමත් කරනු ඇති බවය.

මීට අමතරව රජයේ කෘෂි නවීකරණ වැඩසටහන පිළිබඳවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ  ඇලෙක්සිස් ටේලර් මහත්මියව දැනුවත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ කෘෂි නවීකරණ වැඩසටහන වෙනුවෙන් සිය පූර්ණ සහාය ලබාදෙන බවට මෙහිදී උප ලේකම්වරිය ඇතුළු එක්සත් ජනපද නියෝජිත පිරිස ජනාධිපතිවරයා වෙත සහතික වී තිබේ.

Share this Article
Leave a comment